ග්‍රාම නාමයන්


මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.



උග්ගල්බඩ


උග්ගල්බඩ ගම්මානය පුරාණ ගම්මානයක් වන අතර සකලකලා වල්ලභ රජුගේ පාලන සමයේදී ආරක්ෂිත ස්තානයක් වශයෙන් යොදාගෙන ඇතිබවට මතයක් පවතී. එමෙන්ම එකල භාවිතා කල බවට සැක කෙරෙන උඩුගම්පොලට යාමට හැකි උමගක් තවමත් මෙම ගම්පියසේ පිහිටා ඇත. උස්වූ කදු මුදුන් සහිත බැවින් සහ උස්ගල් පිහිටීම නිසා උග්ගල්බඩ නමින් මෙම ග්‍රාමය හැදින්වෙන බවට මතයක් පවත්නා අතරම උක් හේනක් ගල්වීමෙන් උග්ගල්බඩ යන නම සැදී ඇති බවටද ජනප්‍රවාදයක් ඇත.



නැදගමුව


නැදගමුව ගමෙහි නම ඇතිවූ ආකාරය පිලිබද ජනප්‍රවාදයේ අදහස් දෙකක් දක්නට ඇත.එනම්, උඩුගම්පොල රාජදානියේ රජකම් කල සකලකලාවල්ලභ රජුගේ නැදැයන් පිරිස පදිංචි වී සිටි ප්‍රදේශය වූ නිසා මෙම ප්‍රදේශය නැදැගමුව වී පසුව නැදගමුව වී ඇත. උඩුගම්පල රාජදානියේ විසූ වැරදි වැඩකල පුද්ගලයන් නැතහොත් දුචරිත (නැඩ) මිනිසුන් එම කටයුතු වලට දඩුවමක් වශයෙන් පිටුවහල් කල ප්‍රදේශය ‘’නැඩගමුව’’ වී පසුව නැදගමුව වී ඇති බවටද ජනප්‍රවාදයක් පවතී.මෙම ප්‍රදේශයට ආසන්නයේ පිටුවල්ගොඩ නම් ප්‍රදේශයක් (139/02 බටහිර නැදගමුව ග්‍රාමීය වසමේ) ඇති අතර උඩුගම්පොල රාජදානියෙන් පිටුවහල් කරන ලද වැරදි කරුවන් රැදවූ ස්තානය ‘’පිටුවහල් ගොඩ’’ වී පසුව ‘’පිටුවල්ගොඩ’’ වී ඇති බවට ජනප්‍රවාදයක් පවතී.



කෙහෙල්බද්දර


උඩුගම්පොල රාජධානියේ රජ කල සකලකලා වල්ලභ රජු විසින් පවත්වන ලද විවිධ උත්සව සඳහා කොඩි නොහොත් කෙහෙළි සැපයූ පුද්ගලයා “කෙහෙලි බැදි රාළ“ ලෙස හැදින්වූ අතර ඔහු සිටි ප්‍රදේශය පසු කාලීනව කෙහෙල්බද්දර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කැලණිතිස්ස රජ සමයේ රජු වසින් පවත්වන ලද දානමය කටයුතු සඳහා අවශ්‍ය කෙසෙල් සැපයූ ග්‍රාමය පසුව කෙහෙල්බද්දර නමින් හදුන්වන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.



තම්මිට


තම්මිට ගමෙහි එක් මායිමකින් අත්තනගලු ඔය ගලා බසින අතර ඔය හරහා ගලා එන ජලය කාලයකදී (වාර්ෂිකව) පිටාර යෑම නිසා රෝන්මඩ තැන්පත් වී තිබේ. ඒ නිසා තම්මිට ප්‍රදේශයේ භූමියේ පස් තඹ පැහැ ගැන්වී ඇත. එබැවින් මෙම ප්‍රදේශයට මුලින් “තඹවිට“ යන නම ව්‍යවහාර වී ඇති අතර කාලයත් සමඟ උච්චාරණය අනුව තම්මිට යන නම නිර්මාණය වී ඇත. ඉහත ජනප්‍රවාදයට අමතරව ප්‍රදේශයේ තම්මිට රාළහාමි යන අයකු ජීවත් වූ බැවින් මෙම ප්‍රදේශයට තම්මිට යන නම පටබැදී ඇත.



ඕපාත


අත්තනගලු ඔයේ ශාඛාවක් වශයෙන් ගලා බස්නා දඩුගම ඔය නමින් හදුන්වනු ලබන සීතල බවකින් යුත් මනරම් පරිසරයක හෙබි මෙම ගංගා නදිය මීගමු කල්පුවට වැටී මුහුදට පතිත වේ.මෙම රම්ණීය ගංගාව බස්නාහිර පැත්තෙන් ඕපාත ගම සීමාවක් බවට පත්ව ඇති අතර අනිත් පැත්ත ගණේපල ගම් සීමාව කරගෙන ගලා බසී. මාන කොක්කු, මග කොක්කු, ගිරා රංචු, කොරවක්කන්, පිලිහුඩුවන්, කපුටන්, වවුලන්, කිරිවවුලන්, බකමූණන්, කොබෙයියන් ආදී වර්ගයේ පක්ශීන් මෙම ගම නියෝජනය වන සේ පියාසර කරමින් මෙහි සුන්දරත්වය වඩ වඩාත් අලංකාර කරන අතරම මනරම් කුඹුරැ යායකින්ද සමන්විත වේ. ඔය නියෝජනය කරමින් පහත් බිම් ප්‍රදේශයක්ද ඇතුලත්වපිහිටි හෙයින් ඔයපාත යන අරුත උපයෝගී කර ගනිමින් ඕපාත යන නමින් හදුන්වනු ලබයි.