ග්‍රාම නාමයන්


මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.



පේඩිපොල


උඩුගම්පොල ප්‍රදේශය රාජධානියක්ව පැවති සමයේදී සකලකලා වල්ලභ රජුන් හේවායන් පේලි ගස්වා ඇත්තේ පේඩිපොල ගම පිහිටා ඇති ප්‍රදේශයේ බැවින් එම හේවායන් පේලි ගස්වා ඇති ප්‍රදේශය පේලි පොල නමින් හදුන්වා ඇත. පසු කාලීනව එම පේලිපොල නම් වූ ප්‍රදේශය පේඩිපොල ලෙසට භාවිතයට ගෙන ඇත.



පෙතියාගොඩ


සකලකලා වල්ලභ රජුගේ කාලයේදී පෙතියා නම් පුද්ගලයෙකුට ගම් වරමක් ලෙස ලැබුණු බැවින් පෙතියාගොඩ ග්‍රාම නාමය සෑදුනි. පෙතියා යනුවෙන් හැදින්වූ මත්ස්‍ය වර්ගයක් බහුල වශයෙන් සිටි බැවින් පෙතියාගොඩ වු බව.



ගොවිගම


උඩුගම්පොල රාජධානිය ලෙස පිහිටුවාගෙන පාලනය ගෙන ගිය යුව රජෙකු වන සකලකලා වල්ලභ නම් පාලකයා සිටි සමයේ මෙම ප්‍රදේශයට අවශ්‍ය සහල් සපයා දීමට ගොවිතැන් කටයුතු සිදු කල ජනතාව ජීවත්ව සිටි ප්‍රදේශය ගොවිගම වූ බව ජනප්‍රවාදයේ පවතී. වර්තමානයේ මෙම ග්‍රාමය ගොවිගම, ගොයිගම යනුවෙන්ද ව්‍යවහාරවේ.



දොඹවල


උඩුගම්පොල ප්‍රදේයේ රජකම් කරන ලද සකලකලා වල්ලභ නමැති රජතුමාට දොඹවල නමැති ගම පිහිටි ප්‍රදේශයේ කුඹුරු යායක් සැකසීමට අවශ්‍ය වී ඇත. අදාල භූමිය ගල් පර්වත හා කදු වැටි වලින් යුක්ත වී ඇත. මේ නිසා එම රජතුමා දක්ෂ කර්මාන්තකරුවන් ගෙන්වා ගෙන, එම ගල් පර්වත හා කදුවැටි ඉවත් කර අදාල ප්‍රදේශය කුඹුරු යායක් සැකසීම සදහා විශාල දොඹකරයක් සාදවා ගන්නා ලදී. එම දොඹකරය මගින් පස් හෑරීමත්, හාරන ලද පස් කිලෝමීටරයක් පමණ දුරට දැමීමටත් හැකිවී ඇත. මෙම දොඹකරයේ ආධාරයෙන් රජතුමා විසින් මිනිසුන් ලවා අදාල භූමියේ කුඹුරු යායක් සාදවා ගන්නා ලදී. කුඹුරු යාය සැකසීමේදී ඉවත් කල පස් ගොඩබිමට දමන ලදී. මෙම දොඹකරයේ ආධාරයෙන් කුඹුරු යාය නිර්මාණය වී ඇති නිසා දොඹකරයේ නාමය මුල් කරගෙන මෙම ප්‍රදේශයට දො‍ඹවල යන නාමය තබන ලද බව සදහන් වේ.



හෙන්ඩිමහර


උඩුගම්පල රාජ‍ධානි සමයේ දැනට කුඹුරු තිබෙන ප්‍රදේශයේ වැවක් තිබී ඇත. එම වැවෙන් රන් කෙණ්ඩියක් හමුවී රජුට භාරදී ඇත. එබැවින් මෙම ප්‍රදේශය “කෙණ්ඩිමහර“ ලෙස හදුන්වා ඇති අතර, පසුව එය බිදී යාමෙන් “හෙණ්ඩිමහර“ නම ‍භාවිතා වී ඇත. එකල පාලකයා වූ සකලකලා වල්ලභ රජුට ස්වර්ණාභරණ නිෂ්පාදනය කර දී ඇත්තේ හෙණ්ඩිමහර ගමේ ජනතාව බවට මතයක් ඇත. රාජධානි යුගයේ සිට කඩවර දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වූ දේවාලයක් මෙම ප්‍රදේශයේ අද වන විටද දැකගත හැක. තවද අස්වාන වැව් බැම්ම හා හදුන්ගහ වක්කලම මෙම ගමේ ඇති සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන දෙකකි