උඩුගම්පොළ රාජධානිය
අප කතාවේ ප්‍රධානතම කතාවස්තුව වන්නේ මෙම උඩුගම්පොළ රාජධානිය පිලිබදවය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබෙන මෙම උඩුගම්පොළ ප්‍රදේශය අතීතයේ ලංකාවේ කීර්තිමත්ම රාජධානියක් ව පැවත තිබෙනවා. නිදහස ලැබීමට පෙර මෙය උඩුගම්පොළ රාජධානිය ලෙස නම්කර තිබීම විශේෂ කාරණයක්. මෙහි ඉතිහාස කතාව කෝට්ටේ රාජධානිය දක්වා දිවයන්නකි.15 වන සියවස මුල්කාලයේදී කෝට්ටේ අගනුවර බවට පත්විය. ක්‍රි.ව 1415 වන විට හයවන පරාක්‍රමභාහු රජතුමා විසින් කෝට්ටේ රාජධානිය පාලනය කර අතර ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් අටවන වීර පරාක්‍රමභාහු 1484 දී රජවිය. ඔහුගේ රජකාලය 1484 – 1508/1509 ලෙස ඉතිහාස මූලාශ්‍ර වල සදහන් වේ. අලකේශ්වර යුද්ධය නැමැති ග්‍රන්තයට අනුව අටවන වීරපරාක්‍රමභාහු රජුට කුමාරවරුන් 5 දෙනෙකු විය. ඔවුන් පිළිවෙලින් 9නි ධර්ම පරාක්‍රමභාහු, 6 වන විජයභාහු, රාජසිංහ, සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ වේ.
කෝට්ටේ රාජධානියේ සුවිශේෂීත්වයක් වූයේ පවුලේ මෙම කුමාරවරුන්ට පිළිවෙලින් ප්‍රධාන රාජ්‍ය කොටස් වලට බෙදා දී උප රාජධානි ලෙස පරිපාලන කටයුතු සිදුකිරීමයි. එහිදී පරාක්‍රමභාහු කුමරා තම කොළඹ ප්‍රදේශයද, විජයභාහු කුමරා දෙවුන්දර ආශ්‍රිත දකුණද, රාජසිංහ කුමරා හට මැණික් කඩවර ආශ්‍රිත සතර කෝරළයද, සකලකලා වල්ලභ කුමරුන් හට ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පොළද, තනිය වල්ලභ කුමරුන් හට හලාවත මාදම්පේ ප්‍රදේශය ලෙස උපරාජධානි පිහිටුවාගෙන තිබේ.
උඩුගම්පොළ රාජධානියේ එකළ සීමාවන් මෙසේය, උතුරින් කැළණි ගගද, දකුණින් මාඔයද, බටහිරින් සාගරයද, නැගෙනහිරින් සබරගමුව සහ බටහිරින් මායිම් කරන කදු වැටිය දක්වාත් විහිද ගොස් තිබින.
කෘෂිකර්මාන්තය
උඩුගම්පොළ රාජධානියේ ප්‍රධානම කෘෂිකර්මාන්තයට යොදගත් කුඹුරු යාය වූයේ වර්තමානයේ අප මුතුරාජවෙල අභය භූමිය ලෙස හදුන්වනු ලබන වගුරු බිමයි. මෙය අතීතයේදි සුවිශේෂීතම සහ සශ්‍රීකම කුඹුරු යායකි. මුතුවන් සහල්ම ලබාදුන් කෙත් යායක් නිසා මුතුරාජවෙල ලෙස නම් කෙරුණ බවත් එකී ජනප්‍රවාදයේ පවතින අතර තවත් කතාවක මුත්තු නම් අයෙකු විසින් අස්වද්දන කුඹුරු යායක් නිසා මුතුරාජවෙල කියා නම් පටබැදුනු බවත් කියවේ. මුතුරාජවෙල අද දින වගුරුබිමක් බවට පත්ව ඇත්තේ දහහත් වන සියවසේ දී ද ඕලන්ද ජාතිකයින්ගේ ආක්‍රමණයන් සමග ඔවුන් කැළණි ඔය සහ දඩුගම් ඔය යාකෙරෙන ඇලක් කරවන ලද බව කියවේ. වර්තමානයේ හැමිල්ටන් ඇල නිර්මාණය කිරීමට පෙර සකසන ලද ඇලමාර්ගය මෙයවේ. මෙම ඇල නිසාවෙන් මුතුරාජවෙල වෙල් යායට කරදිය මිශ්‍ර වීම නිසා එම වෙල් යායට කනකොකා හැඩීමට පටන් ගත්තේය.අදවන විට වගුරු බිමක් බවට පත්වී ඇත්තේ උඩුගම්පොළ රාජධානියේ සශ්‍රිකම වෙල්යායය. එහිදී එම අපරාධය තේරුම් ගත් ඕලන්ද ජාතිකයින් විවිධ උපක්‍රම භාවිතා කරමින් මෙය වැලැක්වීමට උත්සහ ගත් බව වර්තමානයේ ඉතිරිව ඇති ඉදිකිරීම් වලින් අපට දැකගත හැක. විවිධ වාරි තාක්ශණ නිර්මාණ කර වඩදිය බාදිය අවස්ථාවන් වලදී ජලය රට තුලට ගලා ඒමට නොහැකි වන සේ මෙය ආරක්ශා කරගැනීමට උත්සහ දරා ඇත. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවසන් සීමාවේ පවතින බොලන්ද අමුණ එයට කදිම නිදසුනකි. කෙතරම් උත්සහයන් ගත්තද එය නිශ්ඵල වීම නිසා අවසානයේ එම ඇල වසා දැමිමට ඕලන්ද ජාතිකයින් තීරණය කර වසා දැමීය. අදටත් එම ඇල හදුන්වනු ලබන්නේ මෝඩ ඇල කියාය.
මෙයට අමතරව මෙම රාජධානියේ රත්මලවිට, කිරිදිවිට, මාරක්විට, අඹන්විට, තඹවිට(තම්මට), අක්කරවිට , උදම්මිට යන ගම්මාන වල කුඹුරු අස්වැද්දීම සදහා රජුන් ඇල වෙලි පනවා විශේෂ අනුග්‍රහයන් දක්වා තිබින. රජුන්ගේ ප්‍රියතම කෙත් යාය වී තිබුනේ සම්බා ගම ලෙස හදුන්වනු ලැබූ වර්තමානයේ ගනේමුල්ල හොරගොල්ල සහ තිබ්බටුගොඩ ග්‍රාමයන්හි පිහිටා තිබෙන වෙල් යායයි. මෙම වෙල් යායේ එකල වගා කර ඇත්තේ සම්බා වී පමණක් බැවින් සම්බා වවන කෙත සම්බා කෙත , සම්බාගම් වීමෙන් අනතුරුව හම්බාගම වී ඊට පසු කාලීන හොරගොල්ල සහ තිබ්බටුගොඩ බවට පත්ව ඇත.